ගොඩකවෙල, ශ්‍රී ලංකා.

“රජුගේ භාණ්ඩාගාරයට අයබදු එකතු කිරීම. ”

ප්‍රවේණි සැලැස්මට බුක්ති විදීමට ලබාදී තිබූ නින්දගම්වලින් උඩරට රදළ ප්‍රධානීන්ට බදු අයකර ගැනීමට තිබූ බලය.

මහ වාසළ භාණ්ඩාගාරය හැරුණු කොට රජුට අයත් භාණ්ඩාගාර පලාත් වශයෙන් ව්යාප්තව තිබිණ. බදු අය කිරීමට මුදලි, මුහන්දිරම්, කෝරලේ, ආරච්චි, විදානේ වරු එකල පත්කර තිබිණි.

රජුගේ භාණ්ඩාගාරයට අයබදු ලෙසට, අලුත් අවුරුදු බද්ද, අලුත් හාල් බද්ද,දැකුම්කත්, ආදියෙන් සමන්විතය. සාමාන්යයෙන් රටවැසියා විසින් ගෙවනු ලබන අයබදු වනාහී මීපැණි, තෙල්, හා ධාන්ය, පැණි,ලාකඩ, වස්ත්ර,යකඩ, ඇත් දළ, දුම් කොළ, හා මුදල් යනාදියයි.

රජුට අනායාසයෙන් ලැබෙන ආදායම් අතර කොතැනක හෝ මිනිසෙකු මළහොත් ඔහු ගවයන් ඇත්තෙක් නම් වසු පැටවා සමඟ එළදෙන හා ගොනෙකුද මීගොනෙකු හා මීදෙනෙකුද වෙයි.මෙම බද්ද මරාල බද්ද ලෙස හදූන්වයි. මෙම බද්ද එකල කෙතරම් දරුණුද කිවහොත් ” මේකත් හරිම මරාලයක් “යන්න ගැමි වහරට එක්ව අදද යම් යම් අවස්ථාවලදී භාවිතා කරයි. වී වගා කටයුතු වලින් වී බද්ද දියයුතුයි. නොයෙසේනම් එයට සරිලන පරිදි මුදලින් දිය යුතු අතර රජුගේ යුද්ධ හේවායින් වගා කරන ඉඩම් වලින් බද්දෙන් නිදහස්ය. වගාවන් වලදී අනිවාර්යයෙන්ම ගෙවිය යුතු මෙම බදු ක්‍රමය රජුගේ භාගය ලෙසට හදුන්වයි. මෙම ක්‍රමය වර්ථමානයේ දී “රාජ්ය භාගය” ලෙසට හදුන්වයි. භික්ෂූන්ට, හෝ දෙවියන්ට පිං පිණිස පරිත්‍යාග කරන ලද විහාර දේවාල ඉඩම් බද්දෙන් නිදහස්ය. නැව් තොටවල් සදහා තීරුබදු ක්‍රමයක් විය. මෙම බදු ක්‍රමය දක්වා රජු විසින් ප්‍රකාශයට පත්කරනලද බදු සදහන් ටැම් සෙල්ලිපියක් අම්බලන්තොට ආසන්න ගොඩවාය පැරණි වරායෙන් හමුවී ඇත. තවද ඇග බද්ද, පියයුරු බද්ද, තවත් ක්‍රියාත්මක බදු ක්‍රමයන්ය.

අධිරාජ්‍ය වාදී සමයේ දීද බදු ක්‍රමය දැඩිව ක්‍රියාත්මක වී ඇති බව පෙනේ. විශේෂයෙන් රේන්ද බද්ද ( මත්ද්‍රව්‍ය සදහා ) බලු බද්ද , ගොන් බද්ද ද අමතර බදු ක්‍රමයන් විය. ගොංබද්දේ රාළ නම් තනතුරක්ද පැවත ඇත. දේපල සදහා මුඩු බිම් බද්ද , ක්‍රියාත්මක විය. එය එකල දේපල රාජසන්තක කර ගැනීම පහසු වීමට එක් කල බද්දකි.

පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසින්ගේ පහත රට පාලන යුගවලදී ඔවුන්ගේ නම්ගම්, නාම කොටස් ලබා ගැනීමට “නාම බද්ද” නමින් සුවිශේෂ බදු ක්‍රමයක් ක්‍රියාත්මක විය. ඔවුන් යටතේ සේවය කරමින්, තාන්න මාන්න ලබමින්, ඔවුන්ගේ අනුගාමිකයන් වෙමින්, තැරැව්කාරයන් වෙමින් සිටි සිංහලයන් මෙම බද්දට යටත්ව නාමයන් සිය නමට පෙර හා පසු ඈදාගෙන ඇත. පහත රට මූදු බඩ ප්‍රදේශ වල මෙම උදවියගේ විශාල විකාශනයක් විය. ඒ උදවියට ගොවිගම, කරාව, දුරාව, සලාගම, ආදී කුල වලට අයත්වූවෝ විශාල වශයෙන් සිටි අතර සුවිශේෂත්වය වූයේ තාන්න මාන්න ලබාගැනීමේදී හා දේපළ රජයෙන් මිලදී ගැනීමේදී අනිවාර්යයෙන්ම එම පරදේශී නාම ලබා ගත යුතුම වීමයි. වර්ථ මානයේද එම නාම කොටස් සිය වාසගම් වශයෙන් භාවිතා කරයි.

විහාර දේවාල නින්දගම් වල ඉහතකී බදු අය කිරීමට බලය විහාරයක් නම් විහාරාධිපති හිමියන්ටද, දේවාලයක නම් එහි භාරකරුවන්ට ( බස්නායක නිලමේ වරුන්ට) පැවති අතර අද දක්වාම පවතී ඒ සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 16 වගන්තියෙන් බලය ලැබී ඇත.

නින්දගම්වල බදු අය කිරීම.

ප්‍රවේණි සැලැස්මට බුක්ති විදීමට ලබාදී තිබූ නින්දගම් වලින් නින්දම ලැබූවන්ටද නින්දගම් වල ඉහතකී පරිදිම රජුට ලබා දිය යුතු බදු වලව්වට ලබාදීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. නොයෙසේනම් දඩ මුදල් ද ගෙවිය යුතුය. තවද දේපළ අහිමිවීමද සිදුව ඇත. රජුගේ සමයේ සන්නස් සහ තුඩපත් මගින් ද අධිරාජ්‍යවාදී යුගයේ 1870 නොම්මර 04 දරණ ආඤා පනතට ඇතුලත් අදාළ වලව්වලට ලබාදී තිබූ මෙම බදු අය කර ගැනීමේ බලය 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි විය.

මෙහි දැක්වෙන්නේ ඇමටියගොඩ වලව්වට ලබාදී තිබූ සන්නස සහ 1870 නොම්මර 04 ප්‍රවේණි පංගු සදහන් ලේඛන පිටපතක් සහ ඇග බද්ද අය කිරීම පිළිබඳ නිකුත් කළ කුවිතාන්සියකි.

අතීත බදු ක්‍රමයන් පිළිබඳව ජනතාව දැනුවත් කර ඇත්තේ අඩබෙර ගැසීම මගින් ප්‍රකාශයට පත් කිරීමෙනි.

1870 නොම්මර 04 ප්රවේණි පංගු සදහන් ලේඛන පිටපතක්

ඇග බද්ද අය කිරීම පිළිබඳ නිකුත් කළ කුවිතාන්සියකි